Total Pageviews

Thursday, June 15, 2017

අහිංසක ආදර කතාවක්






සොබාදහම, නුඹ පුදුමාකාර මැවුම් කරුවෙක්.ගිරි දුර්ග, වන පෙත්, දිය උල්පත් අතර මේ වගේ අහිංසක ආදර කතාවකටත් මහපොලොව මත පූදින්න ඉඩක් ලැබිලා.මේ කැලෑ මලකට ආදරයෙන් බැඳුණු මකුළු දැලක්.

               මකුළු දැලක් මේ නමක් නොදන්න දම් පාට මල් පොහොට්ටු ටික හරි ආදරෙන් වෙලාගෙන. හැබැයි මේ මකුළු දැල මල් පොහොට්ටුවලට පිපෙන්න ඉඩ දෙනවා. මකුළු දැල ඒ තරම් නම්‍යශීලියි. මල් පිපෙන පිපෙන පැත්තට දැල වියනවා මිසක මල් පිපෙන එක නතර කරන විදිහට දැල මල් හිර කරන්නෙ නැහැ. හරියට ඒක අපි හොයන ආදර බැඳීම වගේ. අපි යන යන මාවතට අපිත් එක්ක යන ,  අපේ පාර අවහිර නොකරන ආදරණීය දැලක පැටලෙන්න අපිත් පෙරුම් පුරණවා. 

                          ඇත්තමයි මානව පේ‍්‍රමයත් යරියට මේ දම් පාට මල් පොකුරයි මකුළු දැලයි වගේ.හිතන්න ටිකක් ..... මල් පිපෙන්නත්  ඕනි, හැබැයි මකුළු දැල පළුදු නොවෙන්නත්  ඕනි. හරියටම කිව්වොත් ඒක , අපි හොයන ජීවන සහකාරය හෝ ජීවන සහකාරියගේ ආදරය පළුදු නොවෙන්නත්  ඕනි. හැබැයි අපේ ජීවිතවල හීන හැබෑ වෙන්නත්  ඕනි.මේ දම් පාට මල් පොකුරටයි මකුළු දැලටයි තියෙන අන්‍යොන්‍ය සුහදකම සොබාදහම් මාතාව මානවයින්ට නොදුන්නෙ ඇයි? මේ සොබාදහමේ අපූරු බැදීම අපිටත් දුන්නා නම් අද අපේ ජීවිත මෙන තරම් සුන්දර වේවිද .එහෙනම් අපිට මේ ලෝකේ අපරාජිතයින් , මානසික රෝගින් , පෞරුශ දුර්වලතා ඇත්තන් මුණ නොගැහෙන්න තිිබුණා. දම් පාට මල් පොකුරයි  මකුළු දැලයි වගේ නම්‍යශීලී බැඳීම් අපිටත් හිමි උණා නම් අදටත් අර පේරාදෙණිය විශ්වවිද්‍යාල ශිෂ්‍යාව අදටත් කැම්පස් යනවා.

                    මේ මකුළු දැල මල හැරෙන හැරෙන අතට හැරෙනවා වගේම මලත් ඉඩ තියෙන පැත්තක් හොයාගෙන පිපෙනවා. මේ විදිහට අපිටත් පුළුවන් නම් අපේ ජීවිතවල ඉඩ තියෙන පැත්තක් හොයාගෙන ගොඩ නැගෙන්න , ජීවිතේ මොන තරම් සුන්දර වේවිද. අවාසනාවට අපිට මේ සරල සත්‍ය තේරෙන්නෙ නැහැ.
                                         
             මානවයින් වුණු අපිට  ඕනි හැම වෙලේම අපිටම  ඕනි පාරෙ යන්න. එ් පාර වැහිල නම් අලූතින් පාරක් හොයාගන්න අපි මහන්සි වෙන්නෙ නැහැ. වැහුණු පාරවල් ගැන හූල්ල හූල්ල අපි සුසුම් හෙලනවා. හිතන්න කවදාහරි දවසක හුළඟක් ඇවිත් මේ මකුළු දැල කැඩිල යනවා. එතැන් පටන් මල තනියම පිපෙනවා. ඉන් පස්සෙ මල පරවෙලා යනවා. ඒත් මකුළුවා දැල් බඳින එක නතර කරනවද. මේ මකුළුවම වෙන තැනක දැල බදීවි. සමහරවිට අලූත් මලකුත් හොයා ගනීවි. මිටත් වඩා සියුම්ව හුළඟට ඔරොත්තු දෙන දැලක් වියාවි. මේ විදියට අපේ ජීවිතත් ගැටගහගන්න පුළුවන්නම් . අත්හැරීම්,
මගහැරීම්, ප‍්‍රතික්ෂේප කිරීම් හමුවේ අළුතින් ජීවිතය පටන් ගන්න පුළුවන් නම් අපිත් සැබෑවටම සතුටින් ජීවත් වේවි.

Friday, June 2, 2017





ඉතින් උඹ හිනාවෙයන්.......



     උඹ දැන් කොහේ ඉන්නවද කියන්න මම දන්නෙ නැහැ.අපි මුණගැහුනෙ පානම ගමේ දී . හරියට ම අවුරුද්දකට කලින්. එදත් මේ උඹේ අහිංසක අව්‍යාජ හිනාවට මම පුදුමාකාර විදිහට ආදරේ කළා. අදත් එහෙමයි. සමහරක්විට උඹ අදත් යාල්පානමේ ඉඳන් කතරගමට පයින් යන නඬේ ඉන්නව ඇති.මේ අහිංසක හිනාව අදටත් උඹ ළඟ ඇති. ඒ මොකද උඹ තවම පුංචි පැටියෙක් හින්දා. 
     මේ වෙනකොට ලංකාවේ මිනිස්සු සියගානකගේ ජීවිත ගංවතුරට ගහගෙන ගිිහින්. තවත් පිරිසක් ආගිය අතක් නැහැ. ලක්ෂ ගානක් මිනිස්සු අවතැන් වෙලා.ඉස්කෝලවල්වල , පන්සල්වල , පල්ලිවල ඒ මිනිස්සු ජීවිතේ හොයනවා. මේ රටේ මිනිස්සු මේ තරම් අසරණවෙලා ඉද්දී ආණ්ඩුව ඇමතිවරුන්ට ගෙවල් හදන්නයි වාහන ගන්නයි කෝටි ගානක් සල්ලි පාස් කරනවා . පුංචි පැටියෝ උඹ මේවා දන්නෙ නැහැ, ,ඒ හන්දා උඹ හිනාවෙනවා. 
   මේක මහ පුදුම රටක් පැටියෝ. අපේ මිනිස්සු මෙහෙම දුක් විඳිද්දී විනෝදාත්මක සජීවී රූපවාහිනී වැඩසටහන් කරන එක හරිද කියලා දුරකථනෙන් අහපු පේ‍්‍රක්ෂිකාවගෙන් ඒ වැඩසටහන කරපු හාදය අහනවා  ගං වතුර කියලා ඔයා ගෙදරට වෙලා ඉඳන් බත් නොකා ඉන්නෙ නෑ නේද  කියල. මම  උඹට මේවා කියන්නේ වස්තුවේ , අපි හිතන තරම් ලෝකෙ සුන්දර නැති බව කියල දෙන්න. නැතුව මට  ඕනි නෑ  උඹට මේවා කියල ඔය ලස්සන හිනාව නැතිකරල දාන්න එ්ත් මේ තමයි ඇත්ත.
     මේ වෙනකොට අපේ මිනිස්සු 169 දෙනෙක් ගං වතුරයි නාය යෑම් හින්දයි මියගිහින්. 122ක් අතුරුදන්. ලක්ෂ 5 ක් අවතැන්. ඒත් අපේ ජනාධිපතිතුමයි අගමති තුමයි තවමත් විදේශ සංචාරේ. එ් අස්සේ තව තව දේශපාලූවෝ ලකුණු දාගන්න වතුරට බැහැල.උන් ගං වතුරේ ජන්ද බානවා.පුංචි උඹේ හිතට මේ උප්පරවැට්ටි නොතේරෙන හන්දා ඉතින් උඹ හිනාවෙනවා. විපතට පත් වෙච්චි මිනිස්සුන්ට සහනාධාර රටේ හැම මුල්්ලකම එකතුකරනවා.අපි වෙනුවෙන් අපි කියලා , පොසොන් එකට එකතු කරපු දන්සලූත් අරන් නැති බැරි මිනිස්සුම අසරණ වුණු  ඒ මිනිස්සුන්ට සරණ වෙන්න හදනවා. මේ සම්ප‍්‍රදාය අද ඊයෙක නෙමෙයි 2003 ගං වතුරෙ දි , 2004 සුනාමියෙ දි , 2016 ගං වතුරෙ දි , 2017  කුණු කන්ද නාය ගියහමත් අපි ලඟ තිබුණා.ඒ නම් හදාගන්නවත් ආයතනවල ජනපි‍්‍රය තාවයටවත් නොවෙයි. සමහරවිට ඒ ආධාර ලැබුණු මිනිසිසුවත් දන්නෙ නැතුව ඇති ඒවා ගෙනත් දුන්නෙ කවුද කියලවත්.
      මේවා උඹට බර වැඩියි වගේ ඇති . ඒත් මේ තමයි ඇත්ත ලෝකය. මේ කලබල අස්සේ අපේ රටේ ජනමාධ්‍ය ලොකු වැඩක් කළා.උසස් මට්ටමේ ආපදා සන්නිවෙදනයක් සපයන්න උපරිමයෙන් කටයුතු කළා. ඒත් ඒ කරපු මෙහෙවර දියවෙලා නොයෙන විදිහට ඉදිරියටත් කටයුතු කලොත්  අගෙයි. ඒත් මම උඹට කලින් කිව්වා වගේ මේක මහ පුදුම ලෝකයක්නෙ.හෙට උදේ වෙද්දී මොනා වෙලා තියේවිද දන්නෙ නෑ.
    මේ විදිහට ගං වතුරත් ඇවිත් යාවී.කුණු කඳු , නාය යෑම් අපි හැමෝටම අමතක වේවි . පළාත් පාලන ජන්දෙ,ඇමති හෝමාරු,නිළධාරි මාරු සබයට ඒවී.පුරුදු  විදිහට ට‍්‍රැක් එකේ අපි දුවාවි. මේවා මුකුත් නොදන්න යාල්පානමේ ඉන්න උඹ ඉතින් හිනාවෙයන්.ඇත්තමයි උඹ හිනාවෙන්නෙ හදවතින්මයි.ඒකයි ඔය හිනාව ඔයතරම් ලස්සන.මොකද උඹ ජීවත් වෙන්නේ උඹේ ලෝකෙ ඇතුළේ.උඹ වගේ අහිංසකයෝ අපේ රටේ හැම මුල්ලකම ඉන්නවා.උන් පව් . ලියන්නෙක් වෙච්ච මට උඹලා වෙනුවෙන් මෙහෙම ලියනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.ආයේ අපි මුණ නොගැහේවි. පුංචි පැළේ ගස වෙයන්. ඔය දීප්තිමත් ඇස්වලින් ලෝකය තියුණුවට දැකපන් මගේ පැංචියේ.